Saturday, August 17, 2019

එක් රැයක්   (කෙටිකතාව)

එක් රැයක මා අතරමං විය.
එය සිදු වූයේ මීට වසර කිහිපයකට පෙරය.
මා එසේ අතරමං වූ යේ ගෙදරින් අමනාප වී පාරට බැසි දිනයකදීය.එසේ වීමට හේතු වූ කාරණාව මෙතනට අදාළ නැත.
වීරමන් අසනීපව සිටින බව මට දැන ගන්නට ලැබුණේ දැනට මාස කිහිපයකට පෙරය. මා දැනට කලුතර පදංචිව සිටියත්, පානදුරේ ඔහුගේ නිවසට ඔහු බලන්නට ඒමට නොහැකි වීම ගැන කනගාටුවෙන් සිටින අවස්ථාවකය මට ඔහුගේ මරණය පිළිබඳ ආරංචිය ලැබුණේ.
ඔහු කාලයක සිට පානදුරේ පදිංචිව නොමැත බවත්, ගෙය විකුණා දමා රත්නපුරේ සිය සොයුරියේ ගේ නිවසේ විසූ බවත්, අසනීප වී මිය ගොස් ඇත්තේ එහිදී බවත් පසුව සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණි. එය සිතට යම් අස්වැසිල්ලකි.
එහෙත් මා පානදුරේ අතරමං වූ දිනයේ, මා ඔහුගේ නිවසට ගිය ගමන කිසිදා මට අමතක නොවේ.
එන එන මං නැතිව සිටිය එදා ඒ මොහොතෙහි මට ඔහු සිහිපත් විය.
මට වැඩිපුර හිත හිතා සිටින්නට කාලයක් නොතිබුණි. මම වහා ඔහු සොයා යාමට තීරණය කළෙමි.
මා ඔහුගේ පියා ගේ අවමංගල්‍යයට පැමිණ තිබූ  බැවින් මට නිවසට යන පාර මතකය. ඒ මීට වසර විස්සකට පමණ පෙරය. ප්‍රධාන පාරේ සිට මංගල පෙදෙසට හැරී, පළවෙන පටු මගෙහි ගිය විට ඔහුගේ නිවස හමුවේ.
මා මංගල පෙදෙසට හැරෙන විට පාරේ අනෙක් පසින් කිසිවකු එන බව පෙනුනෙන් මම මොහොතකට නතර විය. ඒ ඔහු විය නොහැකිය ද. කණාමැදිරි වීදි පහන් කණුවේ එළියෙන් කිසිවකු දුරදී හදුනා ගැනීම අපහසුය.
ඒ ඔහුය. වීරමන් මහබැටබැඳිය. වසර විස්සකට පෙර අප සමඟ එකට වැඩ කළ ඔහු මේ කාලය තුර කොතරම් වෙනස් වී ඇත්ද.
ඔහු මංගල පෙදෙසට හැරී මා දෙස නොබලා යන්නට ගියේය. ඔහුට මා නොපෙනුනාද. නැතිනම් හදුනා නොගත්තා වෙන්නට පුළුවන.
මා මේ මොහොතේ මෙතනදී හමුවේවැයි ඔහු කෙලෙස සිතන්නද.
අඩ අඳුරේ වුව ද මම එකවරම ඔහුගේ රූප කාය සිතින් අල්ලා ගත්තෙමි.
හකු පාවට හැකිලී, තට්ටය පෑදී, කුහර දෙකෙහි ඇස් ගිලුණු ඔහුගේ මුහුණ අඩ අදුරට පෙණුනේ වෙස් මුහුණක් ලෙසය. ඇග පත කෙට්ටු වී ඇති තරම පෙනෙන්නේ, ඇද සිටි කමිසයේ හා කලිසමේ මිමි හා සසදන කල්හිය. ඒවා ඔහු ගමන් කරන විට සුළගේ ලෙල දුන්නේ, කොඩි කණුවක එල්ලා ඇති කොඩි දෙකක් මෙනි.
"වීරේ, වීරේ"
වට පිට නොබලා එක එල්ලේ යන ඔහුගේ ගමන නොවෙනස්ව ඇත.
මගේ කට හඩ හා ඔහුගේ ගමනේ වේගය අතර ඇති හිඩසේ මගේ හඩ සුළගේ පාවී යයි.
මම ඔහුට යන්නට හැර බලා සිටිමි.
ගමන් වෙහෙසත්, මුහුණ දී ඇති අපහසුතාවයත් නිසා ශරීරය දහදියෙන් නැහැ වී ඇත. මා නොවැටී සිටින්නේ, රාත්‍රියට  කඩයෙන් ආහාර ගෙන සිටි නිසාය. කඩ කෑම කෑ විට ඇති වන පිපාසය නම් බලවත්ව නැගී එයි.
මා පත් වී සිටින්නේ බරපතල අකරතැබ්බයකට ය. එහෙත් දැන් කළ යුතු එකම දෙය ඔහු පසු පසින් යාමය. ඔහු මා හදුනාගත්තේ නම් මග හැර යන්නේ නැත. නොපිළිගෙන සිටින්නේ ද නැත.
එවකට මා ඔහු ගේ හොද මිතුරෙකු වූ සිටියේය. වැඩිය කා සමග වුව කතා බහට නොයන ඔහු මා සමග හොදින් කතා බහ කළේය.    ඔහු ගේ ජීවිතයයේ බොහෝ දේ මට කීමට පෙළඹී සිටියේය. ඒ, මා ඔහු තේරුම් ගෙන ඔහුට සවන් දෙන නිසායි. එහෙත් ඔහු කිසි විටෙක, ඒවාට විසදුම් බලාපොරොත්තු වූවේ නැත. උදව්වක් ඉල්ලා ද නැත.
මම මද අදුරේ ම සෙමින් සෙමින් ඔහු ගේ නිවස සොයා ගියෙමි. මා යන විට විට ඔහු නිවසට ගොස් හමාරය.
මා ගේට්ටුව ඇරීමට අත තැබූ වීට එය බුරුල් වූ දතක් මෙන් සෙලවුණේය. මා ඔහුට දෙතුන් විටක් කතා කළ විට ඔහු නිවස ඉදිරිපිටට පැමිණ, මා දැක හොල්මනක් දුටු පරිදි බලා සිටියේය.
ජරාවාස වූ නිවාස පරණ වලව් පැලැන්තියට නෑකම් කියන ලකුණු කියාපායි. වසර විස්සකට පෙර තිබූ තත්වය දැන් මට සිතින් සැසදීසමට නොහැකිය. අවපැහැ වූ විදුලි බුබුලේ එළියෙන් මා නිවසේ චිත්‍රය සිතෙහි සටහන් කර ගත්තේ, අද රෑ මා නවාතැන් ගත යුත්තේ මෙහි නිසාය.
මිදුලේ දණක් උසස් තණ කොළ හා වල් පැලෑටිය.
"වීරේ, මං ගුණේ. ගාල්ලෙ සමන් ගුණවර්ධන."
එවර ඔහු මා හදුනා ගත්තේය.
"ගුණේ" සුපුරුදු සුහද තාවයෙන් මා පිළිගත් ඔහු, පැමිණ ගේට්ටුව ඇරියේ
ඉතා සීරුමාරුවටය.
මම මට වූ අකරතැබ්බය පළමුවෙන්ම ඔහුට කීවෙමි.
"නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි තියෙන දෙයක් කාල, තොරතුරු කතා කරල පුළුවන් විදිහට නිදා ගනිමු"
මා කෙරෙහි වූ ඔහුගේ හිතවත් කමෙහි වෙනසක් නැත.
විශාල නිවස අදුරුය. කාමර කිහිපයකින් ඇතත් ඒවා වසා දමා ඇති බව පෙනේ. තැන තැන ලී බඩු ගොඩ ගසා ඇත. වහලය සිදුරු වීම නිසාදෝ බිත්ති දිගේ බේරුණු වැහි වතුර පහරවල් බිතිසිතුවම් මෙනි.ඒවා අදුරු කොළ පාටය.
ඔහු මට තේ පිළියෙල කිරීමට, කෑම කාමරය යැයි සැලකිය හැකි කොටසට ගියේය. ඔහු ගෑස් ලිපක් තබාගෙන, මුළුතැන්ගෙය ලෙස භාවිතා කරන්නේ ද එතැනය.
"අම්ම ඉන්න කොට බලා කියා ගන්න කෙනෙක් හිටිය. අම්ම නැති වුණාට පස්සේ මම එයාව යැවුව."
ඔහුගේ මව මිය ගොස් ඇත්තේ මීට මාස කිහිපයකට කලිනි. අසනීප වී වසර කිහිපයක් නිවසේ ඇදටම සීමා වී ඇත. ඇයට සාත්තු සප්පායම් කර ඇත්තේ ඔහු තනිවමය. අර පුද්ගලයා නවතා ගෙන ඇත්තේ ඇයගේ අවසාන කාලයේදී ය.
ඔහු ගේ පවුලේ සිටින්නේ ඔහුත්, වැඩිමල් සහෝදරියත් පමණකි. රත්නපුරේ කෙනෙකු සමඟ හිතුමතයට කර ගත් විවාහයෙන් පසු ඔවුන් පදිංචිය සිටින්නේ එහිය.
ගෙදරත් සමග තිබූ සම්බන්ධය පළුදු වීමෙන් පසුව, ඔවුන් දෙමව්පියන් බලන්නට පැමිණි ඇත්තේ එහෙමත් දවසකය. ඒද වැඩි හිත හොදකින් නොවීම නිසා පසුව එයද නතර වී ඇත.
වීරේ මේ තොරතුරු මා සමග පැවසුවේ, තේ බොන ගමන්ය.
ඔහු ගේ තේ එක රසය. තනිවම උයාගෙන පිහාගෙන කන්නට පුරුදුවී සිටින කෙනෙකුට එසේ රසට තේ එකක් හදා ගන්නට පුළුවන් වීම පුදුමයක් නොවේ.
ඔහු තනිකඩව සිටින බව පැහැදිලිය.එය නැවත අසා ඔහුගේ සිත පාරවන්නට නොසිතුවෙමි. පියාගේ මරණයෙන් පසු ඔහු පැවසුවේ මව ජීවත් වන තුරු ඇය රැකබලා ගෙන සිටින බවය. අප කොතෙක් ඇවිටිලි විවාහය ගැන ඔහුගේ උනනදූවක් නොවීය.
නැන්දා ලේලි අතර ඇති වන හබය ගැන ඔහු බොහෝ සිතූ බව මට වැටහී තිබුණේ ඔහුගේ කතා බහේ දීය.
"මොන වගේ ගෑනියෙක් හම්බවේද කවුද දන්නෙ. අපි ගෑනු කාල බලල ගේන එකක් ය."
ආ ගිය තොරතුරු කතා බහෙන් පසු, රෑ කෑමට සූදානම් විය. මා ඊට පෙර ඇගපත සෝදා ගත යුතුය. හදිසියේ වුවත් අතට අසුවූ දෙයක් බෑගයේ දමා ගෙන පැමිණි නිසා සරමක්, තුවායක් හා කමිසයක් මා සතු විය.
නාන කාමරය පිහිටියේ නිවාස පිටුපස ය. නිසි නඩත්තුවක් නොමැති, එහි වතුර බට වලින් වතුර කාන්දු වෙයි. වතුර මලෙන් වතුර වැටෙන්නේ හොන්දු මාන්දු ගතියෙනි.
අගපත සෝදා ගත් පසු සිතට සහනයක් ගෙන ආවේය. මට දැන් අවශ්‍ය වෙහෙස නිවා ගැනීමට, කොතන හෝ ඇල වීමය. එවිට සිතෙහි ඇති සියලු ප්‍රශ්න හෙට උදේ වනතුරු හෝ සිතින් බැහැරව යනු ඇත.
මා රෑට කඩෙන් ආහාර ගත් බව පැවසුවද, ඔහුගේ පෙරැත්ත මත කෑම මේසයට ඉද ගැනීමට සිදු විය.
"මං උදේට විතරයි උයන්නෙ. දවල්ටත් එක්ක. නිවාඩු දවසට දවල්ට උයනව. රෑට කඩෙන් පානුයි, හොදියි අරගෙන එනව."
එදින නිවාඩු දිනයක් බැවින් ඔහු දවල්ට ද ඉයූ බත් ඉතිරි වී තිබුණි.
මම පාන් කෑල්ලක් කන්නට කැමති වුනෙමි.
ඔහු ඉතිරි බත් හා මාළු පිනි පිගානකට දමා ඇනුවේය.
"ඒ කාටද"
"බල්ලට"
මා නිවසේ බල්ලකු සිටින බව දැන ගත්තේ එවිටය. ඌ නාන කාමරය අසල නිසොල්මනේ සිටියි. මා පෙර එතනින් නාන කාමරයට යන විට ඌ සෙලවුනේවත් නැත.
"රෑට ලිහල දානව"
ඔහගේ එකම ආරක්ෂකයා ඌය.
කලු පැහැ ලොම් හැලණු, වයසට ගිය උගේ ශරීරයෙන් ඉහල පැලැන්තියේ බල්ලෙකු ගේ පෙනුම තවම වැහැරී ගොස් නැත.
නිවසෙහි විදූලි උපකරණ ලෙස තිබුණේ, අලුතින් ගත් බව පෙනුණු ශීත කරණයත්, විදුලි පංකාවත් පමණයි. අප සාලයට පැමිණි පසු ඔහු ඒ ගැන පැවසුවේ, මා සාලය පුරා ඇස් යවන බව දුටු නිසා වෙන්නට ඇත.
"ටීවී එකයි, කැසට් එකයි ඔක්කොම බඩු හොරු ගත්ත. මම ඕනම කරන බඩු ටික විතරයි ආපහු ගත්තෙ"
"ඉතින් පාළු නැද්ද රෑට. ටීවි එකවත් නැතිව. "
"නෑ. ගෙදර ඇවිල්ල, වැඩ ටික ඉවර වෙන කොට රෑ වෙනව. ඊට පස්සෙ නිදා ගන්නව."
හොරු පැමිණ ඇත්තේ ඔහු නිවසේ නැති අවස්ථාවකය. අහල පහල අය සිතා ඇත්තේ නිවස අලුත් වැඩියා කිරීමට බඩු අස්පස් කරන බවකි. බල්ලාගේ නිහඩ ප්‍රතිචාරය හොරුන් ට වාසිදායක වී ඇත. වාහනයකින් පැමිණි ඔවුන් ගෘහ භාණ්ඩ කිහිපයක් හැරෙන්නට වටිනා සියලු දේ රැගෙන ගොස් ඇත්තේ පැයක් පමණ කාලයක් එහි ගත කිරීමෙන් පසුවය.
පොලීසියේ පැමිණිල්ලක් දැමුවද ඉන් පලක් වී නැත.
රැ දහය පසුවී ඇත. ඔහුගේ නිදන වෙලාව ද ළංවී ඇති බවට ඉගි පළවෙයි. මට අවශ්‍යව ඇත්තේ එයයි.
"නිදා ගන්න එක තමයි ප්‍රශ්නෙ. මගේ කාමරේ ඇඳන් දෙකක් තියෙනව. මේක මගේ්. අරක අම්ම නිදාගත් ඇඳ."
ඔහු පෙන්වූ ඇඳට දමා ඇත්තේ වතුර පිරවූ මෙට්ටයකි. එසේ කර ඇත්තේ මවගේ අසනීප තත්ත්වය නිසා, ඇයට නිදා ගන්නට පහසු වන්නටය.
එය මිනිසුන් දස දෙනෙකට වුව එසවිය නොහැකි තරම් බර බව ඔහු පැවසීය. මට ද එය අනුමාන කළ හැකිය. එහි වතුර හිස්කර තැබීමට ද ඔහු උත්සාහ දරා නැත.
එහි නිදා ගැනීම තරම් මගේ සිත හදාගත නොහැකිය.
"මට පැදුරකුයි කොටටෙකුයි දෙන්න.
මම සාලෙ මෙතන නිදා ගන්නම්."
හවස ඔහු හමුවූ තැන් පටන් සිදු වූ දේ මගේ සිතට නැගෙයි. මගේ සිතට බයක් දැනෙයි. එහෙත් දැන් මට මෙතනින් පලා යා නොහැකිය. මම සිත දැඩි කර ගතිමි.
ටික වෙලාවකින් ම වීරේ ගොරවන හඩ ඇසෙයි. මම සාලයේ එක් විදුලි බුබුලුක් දැල්වී තිබෙන්නට හැරියෙමි.
කාමර වලින් විවිධ ශබ්ද ඇසෙයි.
ඒ මීයන් විය යුතුය. සාලයේ සිවිලිම මත දිව යන්නේ උගුඩුවකු බව සිතෙන්නේ ඔහු එය කලින් ම කියා තිබූ බැවිනි.
මට බොහෝ වෙලාවක් යන තුරු නින්ද නොගියේය. නින්ද යන හැම විටම බියකරු දේ පෙනෙන්නට පටන් ගනියි. මම අවදි වී බිත්තියට පිට දී හිද ගනිමි. මගේ ඉහින් මුනින් දාඩිය දමයි. පිපාසය ද දැඩිව දැනෙයි.
මට වීරේ නැගිටවන්නට නොසිතෙයි. මම එලෙසම හිද ගෙන සිටිමි. බිත්ති ඔරලෝසුවේ හඩ සිත ඇතුළෙහිම ඇසෙයි. ඔරලෝසුවේ පැය කටුව වසාගෙන විනාඩි කටුව ඒමතට පැමිණ ඇත.
මගේ සිතට නොයෙක් දේ පිවිසෙයි. මා ඊයේ කලබල වී ගත් තීරණය ගැන නැවත සිතමි. එය කලබල නොවී විසදා ගත යුතුව තිබුණි.
එසේ වූවානම් මා මෙවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්නේ නැත. මා ගෙදර සිටියා නම් මේ වනවිට සිහින දකිමින් සුවසේ නිදා ගෙන සිටිමි. ඒ වෙනුවට මා නිදි වරමින් මේ පාළු නිවසේ තනිවී සිටින්නේ බියෙන් තැති ගැනීමෙන්
යුතුවය.
එළිය වැටෙන විටම මා වීරේගෙන් හා පාළු නිවසින් සමු ගත්තේ නිදි වැරීමෙන් ඉතා වෙහෙසට පත් වූවකු පරිද්දෙනි.















No comments:

Post a Comment