Saturday, August 17, 2019

නෙළුම සහ නටුව 
_______________

(අත්දැකීම නටුවයි. නිර්මාණය නෙළුමයි.)

නිර්මාණය පෝෂණය වන්නේ අත්දැකීම නැමැති නටුවෙන් උරා ගන්නා ජලය හා පොහොරිනි. ජලය හා පොහොර පවතින්නේ මහ පොළොවෙහිය. ජලය හා පොහොර අපට බැහැරින්ද ලබා දිය හැකිය. 

මගේ බොහෝ කවි වලට පාදක වී ඇත්තේ මා  වින්ද අත්දැකීම් හා එසේ බැහැරින් ලබා ගත් අත්දැකීම්ය. මා කළුතර පදිංචියට පැමිණි පසුව ලැබූ අත්දැකීමක් නෙළුම සහ නටුව  යන කවියට මූලික වී ඇත. එම කවිය ලිවීමට මුල් වූ සංවේදී සංකල්පය සිතෙහි සටහන් වූයේ මා කළුතර බෝධියට ගිය අවස්ථාවකදීය. 

දිවයිනේ නන්දෙසින්
දින පතා පැමිණෙන බොහෝ බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පූජනීය ස්ථානයකි කළුතර බෝධිය. එපමණක් නොව ගාලු පාරේ මාතර දෙසට හා කොළඹට පැමිණෙන දස දහස් ගණනින් වූ වාහන වල ගමන් ගන්නා මගීන් මෙන්ම රියදුරු මහතුන් ද කළුතර බොධියට වැඳ නමස්කාර කිරීමට හා පඬුරු දැමීමට අමතක නොකරති. ඒ තමන් ගේ ගමන බොධීන් වහන්සේගේ පිහිටෙන් මග අනතුරු වලින් තොරව සුරක්ෂිතව අවසන් කිරීමට හැකියාව ලැබෙනවා යන විශ්වාසය නිසාය.

කළුතර බෝධිය, 
බෝධි භාරකාර මණ්ඩලයක් මගින් පාලනය කරයි. එය  ආරම්භ කරන ලද්දේ 1953 දීය. එහි ගෞරවය භිමි වන්නේ දිවංගත නීතිඥ සිරිල් සොයිසා මැතිඳුන්ටය. 1921 එතුමා විසින් පහළ මළුවේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද අතර එහි නිර්මාතෘ ලෙස සළකනු ලබන්නේ ද එතුමා ය.

කළුතර බෝධියට පිවිසෙන දොරටුව ආසන්නයේ පූජා භාණ්ඩ අලෙවි සැල් රාශියකි. විශේෂයෙන්ම ඒවායේ අලෙවි කරන නෙළුම් මල් බොහෝ ප්‍රමාණයක් බෝධියට පූජා කරන්නට බැතිමත්හු රැගෙන යති.

මෙම නෙළුම් මල් පැන් නහවා පුදන්නට සූදානම් කරන්නේ ඒවායේ නටුව කඩා දමා දොරටුවෙහි ඇති කසළ දැමීමෙන් පසුවය. නටුව සිඳ දමා මල පමණක් පුදන්නට ගෙන යන අයුරු දැකීමෙන් මසිත නැගුණු සිතිවිල්ලකි "නෙළුම සහ නටුව". 

නෙළුම හා නටුව _____________

පොවා කිරි දිය
දරා දස මස 
වැව් තොටිල්ලේ නලවා
හිස පැළඳි පුත් නෙළුම 
වැඩූ අමිමා නටුව

මලක මෙහෙවර පිණිස 
නෙළුම අතිනත පැමිණුනා 
පුද බිමෙහි මුව දොරදි 
නටු අගින් මල ගිලිහුණා 

වාරු නැති අම්මාය 
කසළ බඳුනට වැටෙන 
අරුමයකි පුත් නෙළුම
තනිව බුදු ගෙට වඩින

 (සුප්‍රි) මෙම කවිය 1998.04.12 දින රාවය පුවත්පතේ පළවිය. රාවය -පද්ම තටාකයේ, එම සතියේ රන් පියුම ලෙස තෝරා ගත් මෙම කවිය රත්න ශ්‍රී විජේසිංහයන් අගයා තිබුණේ මෙසේය. "සු.ප්‍රි. සමරසිංහගේ නෙළුම හා නටුව අද රන් පියුමයි. තියුණු අන්‍යාලාපයක් නැතහොත් ඒ සමාසෝක්ත්‍යාලංකාරයක් ලෙස සැළකිය හැකි මේ රචනයෙන් නෙළුමත්, නටුවත් අතර පවත්නා සබඳතාව විවරණය කෙරෙතත්, එහි යටි පෙළ ඇරුත් රැසකට විවෘතව පවතී. කවියේ අරුත් කුළු ගැන්වෙන්නේ, 'වාරු නැති අම්මාය කසළ බඳුනට වැටෙන අරුමයකි පුත් නෙළුම තනිව බුදු ගෙට වඩින' යන පද වලිනි. අලංකාරෝක්ති මඳ වීම නිසා මෙහි අර්ථාලංකාරයම සැරසිල්ලක් වෙයි." 

එක් රැයක්   (කෙටිකතාව)

එක් රැයක මා අතරමං විය.
එය සිදු වූයේ මීට වසර කිහිපයකට පෙරය.
මා එසේ අතරමං වූ යේ ගෙදරින් අමනාප වී පාරට බැසි දිනයකදීය.එසේ වීමට හේතු වූ කාරණාව මෙතනට අදාළ නැත.
වීරමන් අසනීපව සිටින බව මට දැන ගන්නට ලැබුණේ දැනට මාස කිහිපයකට පෙරය. මා දැනට කලුතර පදංචිව සිටියත්, පානදුරේ ඔහුගේ නිවසට ඔහු බලන්නට ඒමට නොහැකි වීම ගැන කනගාටුවෙන් සිටින අවස්ථාවකය මට ඔහුගේ මරණය පිළිබඳ ආරංචිය ලැබුණේ.
ඔහු කාලයක සිට පානදුරේ පදිංචිව නොමැත බවත්, ගෙය විකුණා දමා රත්නපුරේ සිය සොයුරියේ ගේ නිවසේ විසූ බවත්, අසනීප වී මිය ගොස් ඇත්තේ එහිදී බවත් පසුව සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණි. එය සිතට යම් අස්වැසිල්ලකි.
එහෙත් මා පානදුරේ අතරමං වූ දිනයේ, මා ඔහුගේ නිවසට ගිය ගමන කිසිදා මට අමතක නොවේ.
එන එන මං නැතිව සිටිය එදා ඒ මොහොතෙහි මට ඔහු සිහිපත් විය.
මට වැඩිපුර හිත හිතා සිටින්නට කාලයක් නොතිබුණි. මම වහා ඔහු සොයා යාමට තීරණය කළෙමි.
මා ඔහුගේ පියා ගේ අවමංගල්‍යයට පැමිණ තිබූ  බැවින් මට නිවසට යන පාර මතකය. ඒ මීට වසර විස්සකට පමණ පෙරය. ප්‍රධාන පාරේ සිට මංගල පෙදෙසට හැරී, පළවෙන පටු මගෙහි ගිය විට ඔහුගේ නිවස හමුවේ.
මා මංගල පෙදෙසට හැරෙන විට පාරේ අනෙක් පසින් කිසිවකු එන බව පෙනුනෙන් මම මොහොතකට නතර විය. ඒ ඔහු විය නොහැකිය ද. කණාමැදිරි වීදි පහන් කණුවේ එළියෙන් කිසිවකු දුරදී හදුනා ගැනීම අපහසුය.
ඒ ඔහුය. වීරමන් මහබැටබැඳිය. වසර විස්සකට පෙර අප සමඟ එකට වැඩ කළ ඔහු මේ කාලය තුර කොතරම් වෙනස් වී ඇත්ද.
ඔහු මංගල පෙදෙසට හැරී මා දෙස නොබලා යන්නට ගියේය. ඔහුට මා නොපෙනුනාද. නැතිනම් හදුනා නොගත්තා වෙන්නට පුළුවන.
මා මේ මොහොතේ මෙතනදී හමුවේවැයි ඔහු කෙලෙස සිතන්නද.
අඩ අඳුරේ වුව ද මම එකවරම ඔහුගේ රූප කාය සිතින් අල්ලා ගත්තෙමි.
හකු පාවට හැකිලී, තට්ටය පෑදී, කුහර දෙකෙහි ඇස් ගිලුණු ඔහුගේ මුහුණ අඩ අදුරට පෙණුනේ වෙස් මුහුණක් ලෙසය. ඇග පත කෙට්ටු වී ඇති තරම පෙනෙන්නේ, ඇද සිටි කමිසයේ හා කලිසමේ මිමි හා සසදන කල්හිය. ඒවා ඔහු ගමන් කරන විට සුළගේ ලෙල දුන්නේ, කොඩි කණුවක එල්ලා ඇති කොඩි දෙකක් මෙනි.
"වීරේ, වීරේ"
වට පිට නොබලා එක එල්ලේ යන ඔහුගේ ගමන නොවෙනස්ව ඇත.
මගේ කට හඩ හා ඔහුගේ ගමනේ වේගය අතර ඇති හිඩසේ මගේ හඩ සුළගේ පාවී යයි.
මම ඔහුට යන්නට හැර බලා සිටිමි.
ගමන් වෙහෙසත්, මුහුණ දී ඇති අපහසුතාවයත් නිසා ශරීරය දහදියෙන් නැහැ වී ඇත. මා නොවැටී සිටින්නේ, රාත්‍රියට  කඩයෙන් ආහාර ගෙන සිටි නිසාය. කඩ කෑම කෑ විට ඇති වන පිපාසය නම් බලවත්ව නැගී එයි.
මා පත් වී සිටින්නේ බරපතල අකරතැබ්බයකට ය. එහෙත් දැන් කළ යුතු එකම දෙය ඔහු පසු පසින් යාමය. ඔහු මා හදුනාගත්තේ නම් මග හැර යන්නේ නැත. නොපිළිගෙන සිටින්නේ ද නැත.
එවකට මා ඔහු ගේ හොද මිතුරෙකු වූ සිටියේය. වැඩිය කා සමග වුව කතා බහට නොයන ඔහු මා සමග හොදින් කතා බහ කළේය.    ඔහු ගේ ජීවිතයයේ බොහෝ දේ මට කීමට පෙළඹී සිටියේය. ඒ, මා ඔහු තේරුම් ගෙන ඔහුට සවන් දෙන නිසායි. එහෙත් ඔහු කිසි විටෙක, ඒවාට විසදුම් බලාපොරොත්තු වූවේ නැත. උදව්වක් ඉල්ලා ද නැත.
මම මද අදුරේ ම සෙමින් සෙමින් ඔහු ගේ නිවස සොයා ගියෙමි. මා යන විට විට ඔහු නිවසට ගොස් හමාරය.
මා ගේට්ටුව ඇරීමට අත තැබූ වීට එය බුරුල් වූ දතක් මෙන් සෙලවුණේය. මා ඔහුට දෙතුන් විටක් කතා කළ විට ඔහු නිවස ඉදිරිපිටට පැමිණ, මා දැක හොල්මනක් දුටු පරිදි බලා සිටියේය.
ජරාවාස වූ නිවාස පරණ වලව් පැලැන්තියට නෑකම් කියන ලකුණු කියාපායි. වසර විස්සකට පෙර තිබූ තත්වය දැන් මට සිතින් සැසදීසමට නොහැකිය. අවපැහැ වූ විදුලි බුබුලේ එළියෙන් මා නිවසේ චිත්‍රය සිතෙහි සටහන් කර ගත්තේ, අද රෑ මා නවාතැන් ගත යුත්තේ මෙහි නිසාය.
මිදුලේ දණක් උසස් තණ කොළ හා වල් පැලෑටිය.
"වීරේ, මං ගුණේ. ගාල්ලෙ සමන් ගුණවර්ධන."
එවර ඔහු මා හදුනා ගත්තේය.
"ගුණේ" සුපුරුදු සුහද තාවයෙන් මා පිළිගත් ඔහු, පැමිණ ගේට්ටුව ඇරියේ
ඉතා සීරුමාරුවටය.
මම මට වූ අකරතැබ්බය පළමුවෙන්ම ඔහුට කීවෙමි.
"නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි තියෙන දෙයක් කාල, තොරතුරු කතා කරල පුළුවන් විදිහට නිදා ගනිමු"
මා කෙරෙහි වූ ඔහුගේ හිතවත් කමෙහි වෙනසක් නැත.
විශාල නිවස අදුරුය. කාමර කිහිපයකින් ඇතත් ඒවා වසා දමා ඇති බව පෙනේ. තැන තැන ලී බඩු ගොඩ ගසා ඇත. වහලය සිදුරු වීම නිසාදෝ බිත්ති දිගේ බේරුණු වැහි වතුර පහරවල් බිතිසිතුවම් මෙනි.ඒවා අදුරු කොළ පාටය.
ඔහු මට තේ පිළියෙල කිරීමට, කෑම කාමරය යැයි සැලකිය හැකි කොටසට ගියේය. ඔහු ගෑස් ලිපක් තබාගෙන, මුළුතැන්ගෙය ලෙස භාවිතා කරන්නේ ද එතැනය.
"අම්ම ඉන්න කොට බලා කියා ගන්න කෙනෙක් හිටිය. අම්ම නැති වුණාට පස්සේ මම එයාව යැවුව."
ඔහුගේ මව මිය ගොස් ඇත්තේ මීට මාස කිහිපයකට කලිනි. අසනීප වී වසර කිහිපයක් නිවසේ ඇදටම සීමා වී ඇත. ඇයට සාත්තු සප්පායම් කර ඇත්තේ ඔහු තනිවමය. අර පුද්ගලයා නවතා ගෙන ඇත්තේ ඇයගේ අවසාන කාලයේදී ය.
ඔහු ගේ පවුලේ සිටින්නේ ඔහුත්, වැඩිමල් සහෝදරියත් පමණකි. රත්නපුරේ කෙනෙකු සමඟ හිතුමතයට කර ගත් විවාහයෙන් පසු ඔවුන් පදිංචිය සිටින්නේ එහිය.
ගෙදරත් සමග තිබූ සම්බන්ධය පළුදු වීමෙන් පසුව, ඔවුන් දෙමව්පියන් බලන්නට පැමිණි ඇත්තේ එහෙමත් දවසකය. ඒද වැඩි හිත හොදකින් නොවීම නිසා පසුව එයද නතර වී ඇත.
වීරේ මේ තොරතුරු මා සමග පැවසුවේ, තේ බොන ගමන්ය.
ඔහු ගේ තේ එක රසය. තනිවම උයාගෙන පිහාගෙන කන්නට පුරුදුවී සිටින කෙනෙකුට එසේ රසට තේ එකක් හදා ගන්නට පුළුවන් වීම පුදුමයක් නොවේ.
ඔහු තනිකඩව සිටින බව පැහැදිලිය.එය නැවත අසා ඔහුගේ සිත පාරවන්නට නොසිතුවෙමි. පියාගේ මරණයෙන් පසු ඔහු පැවසුවේ මව ජීවත් වන තුරු ඇය රැකබලා ගෙන සිටින බවය. අප කොතෙක් ඇවිටිලි විවාහය ගැන ඔහුගේ උනනදූවක් නොවීය.
නැන්දා ලේලි අතර ඇති වන හබය ගැන ඔහු බොහෝ සිතූ බව මට වැටහී තිබුණේ ඔහුගේ කතා බහේ දීය.
"මොන වගේ ගෑනියෙක් හම්බවේද කවුද දන්නෙ. අපි ගෑනු කාල බලල ගේන එකක් ය."
ආ ගිය තොරතුරු කතා බහෙන් පසු, රෑ කෑමට සූදානම් විය. මා ඊට පෙර ඇගපත සෝදා ගත යුතුය. හදිසියේ වුවත් අතට අසුවූ දෙයක් බෑගයේ දමා ගෙන පැමිණි නිසා සරමක්, තුවායක් හා කමිසයක් මා සතු විය.
නාන කාමරය පිහිටියේ නිවාස පිටුපස ය. නිසි නඩත්තුවක් නොමැති, එහි වතුර බට වලින් වතුර කාන්දු වෙයි. වතුර මලෙන් වතුර වැටෙන්නේ හොන්දු මාන්දු ගතියෙනි.
අගපත සෝදා ගත් පසු සිතට සහනයක් ගෙන ආවේය. මට දැන් අවශ්‍ය වෙහෙස නිවා ගැනීමට, කොතන හෝ ඇල වීමය. එවිට සිතෙහි ඇති සියලු ප්‍රශ්න හෙට උදේ වනතුරු හෝ සිතින් බැහැරව යනු ඇත.
මා රෑට කඩෙන් ආහාර ගත් බව පැවසුවද, ඔහුගේ පෙරැත්ත මත කෑම මේසයට ඉද ගැනීමට සිදු විය.
"මං උදේට විතරයි උයන්නෙ. දවල්ටත් එක්ක. නිවාඩු දවසට දවල්ට උයනව. රෑට කඩෙන් පානුයි, හොදියි අරගෙන එනව."
එදින නිවාඩු දිනයක් බැවින් ඔහු දවල්ට ද ඉයූ බත් ඉතිරි වී තිබුණි.
මම පාන් කෑල්ලක් කන්නට කැමති වුනෙමි.
ඔහු ඉතිරි බත් හා මාළු පිනි පිගානකට දමා ඇනුවේය.
"ඒ කාටද"
"බල්ලට"
මා නිවසේ බල්ලකු සිටින බව දැන ගත්තේ එවිටය. ඌ නාන කාමරය අසල නිසොල්මනේ සිටියි. මා පෙර එතනින් නාන කාමරයට යන විට ඌ සෙලවුනේවත් නැත.
"රෑට ලිහල දානව"
ඔහගේ එකම ආරක්ෂකයා ඌය.
කලු පැහැ ලොම් හැලණු, වයසට ගිය උගේ ශරීරයෙන් ඉහල පැලැන්තියේ බල්ලෙකු ගේ පෙනුම තවම වැහැරී ගොස් නැත.
නිවසෙහි විදූලි උපකරණ ලෙස තිබුණේ, අලුතින් ගත් බව පෙනුණු ශීත කරණයත්, විදුලි පංකාවත් පමණයි. අප සාලයට පැමිණි පසු ඔහු ඒ ගැන පැවසුවේ, මා සාලය පුරා ඇස් යවන බව දුටු නිසා වෙන්නට ඇත.
"ටීවී එකයි, කැසට් එකයි ඔක්කොම බඩු හොරු ගත්ත. මම ඕනම කරන බඩු ටික විතරයි ආපහු ගත්තෙ"
"ඉතින් පාළු නැද්ද රෑට. ටීවි එකවත් නැතිව. "
"නෑ. ගෙදර ඇවිල්ල, වැඩ ටික ඉවර වෙන කොට රෑ වෙනව. ඊට පස්සෙ නිදා ගන්නව."
හොරු පැමිණ ඇත්තේ ඔහු නිවසේ නැති අවස්ථාවකය. අහල පහල අය සිතා ඇත්තේ නිවස අලුත් වැඩියා කිරීමට බඩු අස්පස් කරන බවකි. බල්ලාගේ නිහඩ ප්‍රතිචාරය හොරුන් ට වාසිදායක වී ඇත. වාහනයකින් පැමිණි ඔවුන් ගෘහ භාණ්ඩ කිහිපයක් හැරෙන්නට වටිනා සියලු දේ රැගෙන ගොස් ඇත්තේ පැයක් පමණ කාලයක් එහි ගත කිරීමෙන් පසුවය.
පොලීසියේ පැමිණිල්ලක් දැමුවද ඉන් පලක් වී නැත.
රැ දහය පසුවී ඇත. ඔහුගේ නිදන වෙලාව ද ළංවී ඇති බවට ඉගි පළවෙයි. මට අවශ්‍යව ඇත්තේ එයයි.
"නිදා ගන්න එක තමයි ප්‍රශ්නෙ. මගේ කාමරේ ඇඳන් දෙකක් තියෙනව. මේක මගේ්. අරක අම්ම නිදාගත් ඇඳ."
ඔහු පෙන්වූ ඇඳට දමා ඇත්තේ වතුර පිරවූ මෙට්ටයකි. එසේ කර ඇත්තේ මවගේ අසනීප තත්ත්වය නිසා, ඇයට නිදා ගන්නට පහසු වන්නටය.
එය මිනිසුන් දස දෙනෙකට වුව එසවිය නොහැකි තරම් බර බව ඔහු පැවසීය. මට ද එය අනුමාන කළ හැකිය. එහි වතුර හිස්කර තැබීමට ද ඔහු උත්සාහ දරා නැත.
එහි නිදා ගැනීම තරම් මගේ සිත හදාගත නොහැකිය.
"මට පැදුරකුයි කොටටෙකුයි දෙන්න.
මම සාලෙ මෙතන නිදා ගන්නම්."
හවස ඔහු හමුවූ තැන් පටන් සිදු වූ දේ මගේ සිතට නැගෙයි. මගේ සිතට බයක් දැනෙයි. එහෙත් දැන් මට මෙතනින් පලා යා නොහැකිය. මම සිත දැඩි කර ගතිමි.
ටික වෙලාවකින් ම වීරේ ගොරවන හඩ ඇසෙයි. මම සාලයේ එක් විදුලි බුබුලුක් දැල්වී තිබෙන්නට හැරියෙමි.
කාමර වලින් විවිධ ශබ්ද ඇසෙයි.
ඒ මීයන් විය යුතුය. සාලයේ සිවිලිම මත දිව යන්නේ උගුඩුවකු බව සිතෙන්නේ ඔහු එය කලින් ම කියා තිබූ බැවිනි.
මට බොහෝ වෙලාවක් යන තුරු නින්ද නොගියේය. නින්ද යන හැම විටම බියකරු දේ පෙනෙන්නට පටන් ගනියි. මම අවදි වී බිත්තියට පිට දී හිද ගනිමි. මගේ ඉහින් මුනින් දාඩිය දමයි. පිපාසය ද දැඩිව දැනෙයි.
මට වීරේ නැගිටවන්නට නොසිතෙයි. මම එලෙසම හිද ගෙන සිටිමි. බිත්ති ඔරලෝසුවේ හඩ සිත ඇතුළෙහිම ඇසෙයි. ඔරලෝසුවේ පැය කටුව වසාගෙන විනාඩි කටුව ඒමතට පැමිණ ඇත.
මගේ සිතට නොයෙක් දේ පිවිසෙයි. මා ඊයේ කලබල වී ගත් තීරණය ගැන නැවත සිතමි. එය කලබල නොවී විසදා ගත යුතුව තිබුණි.
එසේ වූවානම් මා මෙවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්නේ නැත. මා ගෙදර සිටියා නම් මේ වනවිට සිහින දකිමින් සුවසේ නිදා ගෙන සිටිමි. ඒ වෙනුවට මා නිදි වරමින් මේ පාළු නිවසේ තනිවී සිටින්නේ බියෙන් තැති ගැනීමෙන්
යුතුවය.
එළිය වැටෙන විටම මා වීරේගෙන් හා පාළු නිවසින් සමු ගත්තේ නිදි වැරීමෙන් ඉතා වෙහෙසට පත් වූවකු පරිද්දෙනි.















බොහෝ කවි ලියවෙන අද දවසේ මෙම සටහන වැදගත් වේය යන අදහසින් එය උපුටා දක්වමි.
උපුටා ගැනීම : සංස්කාරක සටහන, පහන් වැට, යොවුන් නිර්මාණ ශිල්පීන්ගේ කවි එකතුව (1990 රාජ්‍ය සාහිත්‍ය උළෙල නිමිත්තෙන් සංගෘහිතය)
ප්‍රකාශනය : පහන්වැට නිර්මාණ කේන්ද්‍රය
(ධර්මසිරි ගමගේ කලාකරුවාණන් ගෞරවයෙන් සිහිපත් කරමි.)

"අත්වැලක්.....
......මේ නිරීක්ෂණයන් මැදහත් සිතින් හා උපේක්ෂාවෙන් යළි යළිත් හදාරා වඩාත් හොඳ නිර්මාණයක් කිරීමට හුරුකම ලැබීම මෙහි පද්‍ය පන්තියක් පළවීමෙන් ලබන ආස්වාදයට වැඩි උගැන්මක් හා අභ්‍යාසයක් බව තේරුම් ගැනීම මැනවි. රචනය පළවී යැයි ප්‍රහර්ෂය ලබනවා වෙනුවට පළ නොවූයේ කිම දැ යි විමර්ශනයේ යෙදීමෙන් වඩා වැඩි පරිචයක් හා දැනුමක් ලබා පෙරට යා හැකිය.
අප පොදුවේ දකින අඩු ලුහුඬුකම් කීපයක් මෙසේය.
කාව්‍ය නිර්මාණයකින් ප්‍රස්තුත කිරීමට තරම් සුදුසු අත්දැකීම් නොමැතිව හුදු භාවික හැඟීම් කාව්‍ය නිර්මාණයක් බවට පත් කරන්නට යෑම එක් දූර්වලතාවයකි. මීට ඉහතදී කවීන් සිය දහස්වර කියූ දේ නැවත නැවත පුනරොක්තියෙන් කීම නිර්මාණය නොවේ. කවර හෝ අත්දැකීමක් වේවා ඒ දෙස නව දෘෂ්ටියකින් බැලීම ගවේෂණාත්මක නිර්මාණ කරුවාගේ සිරිතය...
ඇතැම් තරුණ කවීනට අත්දැකීම් ඇතත් ඒවා කියා ගැනීමේදී වැල් අකුල්වල පැටලී ගොස් ඇති බවක් පෙනිණ. එයට හේතුව අත්දැකීම් පළකර ගැන්මට සුදුසු නව කවි බසක් සපයා ගැන්මේ උකටලීවීමයි. කවියේ පෙළහැර පෑම බස නොදැන අන් කිසි අයුරකින් හෝ කළ නොහැකිය. පැරණි, නූතන බස් වහර හා ජන වහර ද ගැඹුරින් හදාරා තමා ගේ ම කාව්‍යය රීතියක පිහිටීමට නවක කවීන් උත්සුක විය යුතුය. තමා ගේ ම කාව්‍යය රීතියක නො පිහිටා කවදාවත් ඉදිරි ගමන යෑම කළ නො හැකියි.
තවත් එක් අඩුපාඩුවක් නම් ප්‍රවීණ කාව්‍යය නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ නෙත් අඳ වූවන්සේ අනුගමනය කරන්නට ගන්නා උත්සාහයයි. මෑත දී කීර්තියට හා ප්‍රමුඛතාවට පත් කවීන්ගේ කවි රචනයන්හි එන සංසිද්ධීන් හා එය කියා පෑමට ඔවුන් උපයුක්ත කර ගන්නා බස් වහර ද ඉවක් බවක් නොමැතිව තම රචනයන් සඳහා භාවිතා කිරීමෙන් කවදාවත් නවක කවීන්ට ස්වාධීන කවි ශෛලියක් ගොඩනඟා ගත නො හැකිය.
එයින් සිදුවන්නේ අනුකාරක තත්ත්වයට පත්වීම පමණි. එබැවින් අභ්‍යාසයෙන් හා විමංසනයෙන් තමන් ගේ ස්වාධීන නිර්මාණ රේඛාවක් ඔස්සේ පෙර ගමන් ඇරඹීම සැම ගේ ආධ්‍යාශය විය යුතුය.
..... බොහෝ නිර්මාණයන්හි වූයේ අත්දැකීම් මතුපිටින් අතපත ගා තිබීම ය. ඒවා හි නිර්මාණාත්මක බව වර්ධනය කොට ගැනුමට නිර්මාණ කරුවන් තව තවත් අභ්‍යාසයෙහි යෙදීම හා සිය නිර්මාණ කපා කොටා සකස් වීමට කල් ලබාදීම කළ යුතු යැයි හැඟේ.
නිර්මාණ අතලොස්සක් හැරෙන්නට අනෙක් බොහොමයක් සුලභ මාතෘකා ආශ්‍රයෙන් ලියැවී ඇත.
කවි තෝරා ගැනීමේ දී පහත සඳහන් දුබලතා දුටිමු.
1.ලද අනුභූතිය සාර්ථකව ප්‍රතිනිර්මාණය නොකිරීම. ආකෘතික පක්ෂයේ දැකිය හැකි අඩුපාඩු.
2.ආවේග බහුල බව නිසා ඇති වූ ප්‍රචාරක වාදී ස්වරූපය.
3. ලස්සන වචන එකතුවකින් පමණක් සෑහීමකට පත් වූ බව පෙනෙන්නට තිබීම.
4.සිවුපද ආකෘතියේම සිරවී සිටිමට සමහර කවීන් ගෙන තිබූ උත්සාහය.
5.සමහර දෙනෙකු අද්‍යතන මුහුණුවර හඳුනා ගෙන නොතිබීම.

Wednesday, August 14, 2019

ඉඩහසරෙහි වපසරිය
_________________

අඩිපාර- මග පෙන්වීම
වැටකඬුල්ල- පෙරවදන
මගේ භුක්තිය-මගේ නිර්මාණ
දඬුවැට-නිවේදන
කවි ලියද්ද-ඔබේ නිර්මාණ
කෙටිකතා ලියද්ද-ඔබේ නිර්මාණ
දිග පළල-විචාර
නෙළුම සහ නටුව-අත්දැකීම් සහ නිර්මාණ
පැල්කොටේ-සාකච්ඦා/අදහස්
වටපිටාව-නිර්මාණ මූලාශ්‍ර
කුරුළු පාළුව-අත්දැකීම් සටහන් කිරීමට වෙන් කළ කොටස
අස්වැන්න-ඵල ලැබීම

Monday, August 12, 2019

සුපිරිගේ ඉඩහසර ඔබේ අස්වැන්න සඳහා වෙන් වෙයි. ඔබේ කවි හා කෙටිකතා අස්වැන්න සුපිරි ගේ ඉඩහසරට එවන්න. පළවෙන කවි හා කෙටිකතා අතරින් සුපිරි කවි හා කෙටිකතා පිළිබඳ විචාරයට නවක විචාරකයින්ට අවස්ථාව.

විද්‍යුත් ලිපිනය : supprisamarasinghe@gmail. com
මජං අතින් ලියූ කවිය
_______________________
හැර දමා ගම්බිම්
කොන්ක්‍රීට් පුරවරේ පදම් වී
තිස් අවුරුද්දක් ම ගෙවුණා
පාසලට පොත පතට
ආයුබෝවන් කියා
එක් පොතක් වත් නැතුව
හෝඩියෙන් ජීවිතය ඇරඹුවා
අත පයේ තෙල් මජං ගෑවුණා

මා සොයා ගෙන ඇවිත්
වෙහෙසකර පණිවිඩය
පෙරේදා රාත්‍රියෙ ලැබුණා
මජං හෝදා ගන්න
අත අහවරක් නොවුණා
ඊයෙ අද දෙදොහේ ම
දෙගොඩහරි ජාමයෙත්
වැඩ පිරී තිබුණා
මුදලාලිගේ දෑහ
අන්දකාරෙත් දිලිහුණා

ගුරු පුදයෙ ගුණ වරුණෙ
ටීවී එකේ ඇහුණා
ෆොටෝ එක පත්තරේ තිබුණා
ගුරු මණ්ඩලේ සිනාසෙනු බැරුව හිටියා
මුල් ගුරුතුමා කොහෙද
මගේ හිත ඇහුවා
දැක ගන්න තිබුණනම් හොදයි
හිත ඇතුලෙ හීනයක්
කාලයක් තිස්සේ ම තිබුණා

හැඩට ඔසරිය ඇන්ද
හෝඩියේ ගුරුතුමිය
රෙද්ද බැනියම ඇන්ද
පස්වැන්නෙ ගුරුතුමා
අනේ මා හොයන්නැති
පංතියේ කීකොරුම සිස්සයා
ඇඳීමට ලිවීමට දස්සයා
කතා නැති නිස්සද්දයා

ගෝලයන් ගේ කාර්
පේළියට තියෙන්නැති 
මන්තිරිල, දොස්තරල,ලෝයස්ල
එන්න ඇති
කාටවත් මා මතක නැතුවැති
බාටදෙකක්වත් නැතුව
පාසලට පයින් ආ හාදයා
සිස්සත්ව විබාගෙන්
අනූවක් ලකුණු ගත් සූරයා

ගුරු මව්නි පියවරුනි
කියා දුන් අකුරු මට තාම මතකයි
පාඩමක් දෙකක් වැරදී
පාර වැරදුනා තමයි
ඒත් හිතට දුක නැතුවා සත්තමයි
දෙපා වදින්නට නාවට
මෙමට සමා වේදැයි
මජං පිස නොදා ලියු පද
ඊට හිලව් වේදැයි
___________
සු.ප්‍රි.සමරසිංහ

Sunday, August 4, 2019

සුපිරි කොලම
___________
මෙම කොලම පළවූයේ "සිහජන" පුවත්පතේය. සිහජන පුවත්පත එළිදැක්වූයේ 2005 ඔක්තෝබර් මාසයේ දීය. එහි සංස්කාරක මණ්ඩලය වූයේ මා සමඟ හරින්ද්‍ර සමන්ප්‍රිය, කුමාරසිරි පීරිස් හා ලක්මිණි මෙන්ඩිස් ය. අපි සතර දෙනා කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පුවත්පත් කලා පාඨමාලාව හැදෑරුවෝ වෙමු. මෙම පුවත්පත සංස්කරණය කළේ එම පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසුව එහි ප්‍රායෝගික අභ්‍යාසයක් ලෙසය.
_________________________________
සුපිරි කොලම-1
_________________________________
අද හැම දේම සුපිරිය. සුපිරි දේ වැහි වැහැලාය. හැම දේම සුපිරි වෙන කොට කොලමත් සුපිරි විය යුතුය. ඇතුළත සුපිරි විය යුතු නැත. නම සුපිරි වුනාම ඇතිය.
පිරි සුපිරි වන්නේ "සු" මුලට දැම්මාමය. නොපිරි සුපිරි වන්නේ "නො" ගලවා "සු" දැම්මාමය. ඒක ටිකක් හාස්කම් වැඩය.
ඒ නම ගැනය. ඒ ඇතිය. මදි හරියක් පසු දවසකය. වැඩි වුනොත් සුපිරි අප්‍රිය වන්නට පුළුවන. අද ජනප්‍රිය වන්නට නම් කිරි කිරි බඩු තියෙන්නට ඕනෑය. ඒත් එළ කිරි වගේ මී කිරි හරියන්නේ නැතිය. නම හොඳ නම් මිනිස්සු ඕනම ජරාවක් කති. ඒවා හොඳින් දිරවති.
ජරාව කෑවම වමාරන්න වන්නේ පසුවට ය. ඒ බඩේ ලෙඩේය. බඩ සුද්ද වන්නට බේත්ය. බේත හොඳය. බඩ සුද්ද වුනාම ඇතිය. ලෙඩා මළාට කමක් නැත.
අද නැති දේ ඇති කළ හැකිය. ඒ නැති දේ ඇති බව කීමෙන්ය. කියල විතරක් මදිය. ලේබල් ගැසිය යුතුය. ඒත් මදිය. පෝස්ටර් ගැසිය යුතුය. ඒත් මදිය. බැනර් ඇඳිය යුතුය. බෝඩ් ගැසිය යුතුය.
පකෂ නම් අපක්ෂපාතී බව කිව යුතුය. අසමබර නම් සමබර බව කිව යුතුය. අඩු තැන් කොහොම හරි පිරවිය යුතුය. බොරු වැපිරිය යුතුය. බොරු පොකුරු පොකුරු පැළවන විට පොහොර දැමිය යුතුය.
පිපිරි පිපිරී මේවා කියවිය යුතු නැත. එසේ කියවන්නට දෙයක් මෙහි නැත. ඇත්තේ අකුරු පමණකි. ඒ බැරි කමකට නොවේය. ඒ මේ කොලමේ හැටිය.
දැන් ඔබට පැහැදිලිය. මට ද පැහැදිලිය. මෙය සුපිරි කොලමක් නොවේය. සුපිරි වන්නේ නමය.
අදට ඉවරය.
______සුපිරි___________________