සුපිරි කොලම
___________
___________
මෙම කොලම පළවූයේ "සිහජන" පුවත්පතේය. සිහජන පුවත්පත එළිදැක්වූයේ 2005 ඔක්තෝබර් මාසයේ දීය. එහි සංස්කාරක මණ්ඩලය වූයේ මා සමඟ හරින්ද්‍ර සමන්ප්‍රිය, කුමාරසිරි පීරිස් හා ලක්මිණි මෙන්ඩිස් ය. අපි සතර දෙනා කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පුවත්පත් කලා පාඨමාලාව හැදෑරුවෝ වෙමු. මෙම පුවත්පත සංස්කරණය කළේ එම පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසුව එහි ප්‍රායෝගික අභ්‍යාසයක් ලෙසය.
_________________________________
සුපිරි කොලම-1
_________________________________
සුපිරි කොලම-1
_________________________________
අද හැම දේම සුපිරිය. සුපිරි දේ වැහි වැහැලාය. හැම දේම සුපිරි වෙන කොට කොලමත් සුපිරි විය යුතුය. ඇතුළත සුපිරි විය යුතු නැත. නම සුපිරි වුනාම ඇතිය.
පිරි සුපිරි වන්නේ "සු" මුලට දැම්මාමය. නොපිරි සුපිරි වන්නේ "නො" ගලවා "සු" දැම්මාමය. ඒක ටිකක් හාස්කම් වැඩය.
ඒ නම ගැනය. ඒ ඇතිය. මදි හරියක් පසු දවසකය. වැඩි වුනොත් සුපිරි අප්‍රිය වන්නට පුළුවන. අද ජනප්‍රිය වන්නට නම් කිරි කිරි බඩු තියෙන්නට ඕනෑය. ඒත් එළ කිරි වගේ මී කිරි හරියන්නේ නැතිය. නම හොඳ නම් මිනිස්සු ඕනම ජරාවක් කති. ඒවා හොඳින් දිරවති.
ජරාව කෑවම වමාරන්න වන්නේ පසුවට ය. ඒ බඩේ ලෙඩේය. බඩ සුද්ද වන්නට බේත්ය. බේත හොඳය. බඩ සුද්ද වුනාම ඇතිය. ලෙඩා මළාට කමක් නැත.
අද නැති දේ ඇති කළ හැකිය. ඒ නැති දේ ඇති බව කීමෙන්ය. කියල විතරක් මදිය. ලේබල් ගැසිය යුතුය. ඒත් මදිය. පෝස්ටර් ගැසිය යුතුය. ඒත් මදිය. බැනර් ඇඳිය යුතුය. බෝඩ් ගැසිය යුතුය.
පකෂ නම් අපක්ෂපාතී බව කිව යුතුය. අසමබර නම් සමබර බව කිව යුතුය. අඩු තැන් කොහොම හරි පිරවිය යුතුය. බොරු වැපිරිය යුතුය. බොරු පොකුරු පොකුරු පැළවන විට පොහොර දැමිය යුතුය.
පිපිරි පිපිරී මේවා කියවිය යුතු නැත. එසේ කියවන්නට දෙයක් මෙහි නැත. ඇත්තේ අකුරු පමණකි. ඒ බැරි කමකට නොවේය. ඒ මේ කොලමේ හැටිය.
දැන් ඔබට පැහැදිලිය. මට ද පැහැදිලිය. මෙය සුපිරි කොලමක් නොවේය. සුපිරි වන්නේ නමය.
අදට ඉවරය.
______සුපිරි___________________
No comments:
Post a Comment