නෙළුම සහ නටුව
_______________
(අත්දැකීම නටුවයි. නිර්මාණය නෙළුමයි.)
නිර්මාණය පෝෂණය වන්නේ අත්දැකීම නැමැති නටුවෙන් උරා ගන්නා ජලය හා පොහොරිනි. ජලය හා පොහොර පවතින්නේ මහ පොළොවෙහිය. ජලය හා පොහොර අපට බැහැරින්ද ලබා දිය හැකිය.
මගේ බොහෝ කවි වලට පාදක වී ඇත්තේ මා වින්ද අත්දැකීම් හා එසේ බැහැරින් ලබා ගත් අත්දැකීම්ය. මා කළුතර පදිංචියට පැමිණි පසුව ලැබූ අත්දැකීමක් නෙළුම සහ නටුව යන කවියට මූලික වී ඇත. එම කවිය ලිවීමට මුල් වූ සංවේදී සංකල්පය සිතෙහි සටහන් වූයේ මා කළුතර බෝධියට ගිය අවස්ථාවකදීය.
දිවයිනේ නන්දෙසින්
දින පතා පැමිණෙන බොහෝ බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පූජනීය ස්ථානයකි කළුතර බෝධිය. එපමණක් නොව ගාලු පාරේ මාතර දෙසට හා කොළඹට පැමිණෙන දස දහස් ගණනින් වූ වාහන වල ගමන් ගන්නා මගීන් මෙන්ම රියදුරු මහතුන් ද කළුතර බොධියට වැඳ නමස්කාර කිරීමට හා පඬුරු දැමීමට අමතක නොකරති. ඒ තමන් ගේ ගමන බොධීන් වහන්සේගේ පිහිටෙන් මග අනතුරු වලින් තොරව සුරක්ෂිතව අවසන් කිරීමට හැකියාව ලැබෙනවා යන විශ්වාසය නිසාය.
කළුතර බෝධිය,
බෝධි භාරකාර මණ්ඩලයක් මගින් පාලනය කරයි. එය ආරම්භ කරන ලද්දේ 1953 දීය. එහි ගෞරවය භිමි වන්නේ දිවංගත නීතිඥ සිරිල් සොයිසා මැතිඳුන්ටය. 1921 එතුමා විසින් පහළ මළුවේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද අතර එහි නිර්මාතෘ ලෙස සළකනු ලබන්නේ ද එතුමා ය.
කළුතර බෝධියට පිවිසෙන දොරටුව ආසන්නයේ පූජා භාණ්ඩ අලෙවි සැල් රාශියකි. විශේෂයෙන්ම ඒවායේ අලෙවි කරන නෙළුම් මල් බොහෝ ප්‍රමාණයක් බෝධියට පූජා කරන්නට බැතිමත්හු රැගෙන යති.
මෙම නෙළුම් මල් පැන් නහවා පුදන්නට සූදානම් කරන්නේ ඒවායේ නටුව කඩා දමා දොරටුවෙහි ඇති කසළ දැමීමෙන් පසුවය. නටුව සිඳ දමා මල පමණක් පුදන්නට ගෙන යන අයුරු දැකීමෙන් මසිත නැගුණු සිතිවිල්ලකි "නෙළුම සහ නටුව".
නෙළුම හා නටුව _____________
පොවා කිරි දිය
දරා දස මස
වැව් තොටිල්ලේ නලවා
හිස පැළඳි පුත් නෙළුම
වැඩූ අමිමා නටුව
මලක මෙහෙවර පිණිස
නෙළුම අතිනත පැමිණුනා
පුද බිමෙහි මුව දොරදි
නටු අගින් මල ගිලිහුණා
වාරු නැති අම්මාය
කසළ බඳුනට වැටෙන
අරුමයකි පුත් නෙළුම
තනිව බුදු ගෙට වඩින
(සුප්‍රි) මෙම කවිය 1998.04.12 දින රාවය පුවත්පතේ පළවිය. රාවය -පද්ම තටාකයේ, එම සතියේ රන් පියුම ලෙස තෝරා ගත් මෙම කවිය රත්න ශ්‍රී විජේසිංහයන් අගයා තිබුණේ මෙසේය. "සු.ප්‍රි. සමරසිංහගේ නෙළුම හා නටුව අද රන් පියුමයි. තියුණු අන්‍යාලාපයක් නැතහොත් ඒ සමාසෝක්ත්‍යාලංකාරයක් ලෙස සැළකිය හැකි මේ රචනයෙන් නෙළුමත්, නටුවත් අතර පවත්නා සබඳතාව විවරණය කෙරෙතත්, එහි යටි පෙළ ඇරුත් රැසකට විවෘතව පවතී. කවියේ අරුත් කුළු ගැන්වෙන්නේ, 'වාරු නැති අම්මාය කසළ බඳුනට වැටෙන අරුමයකි පුත් නෙළුම තනිව බුදු ගෙට වඩින' යන පද වලිනි. අලංකාරෝක්ති මඳ වීම නිසා මෙහි අර්ථාලංකාරයම සැරසිල්ලක් වෙයි."
අපූරුයි.ජයවේවා.
ReplyDelete